පැරණි කුළ කාන්තාව සතු වූ ගුණාංග


මානව ශිෂ්ටාචාරයේ ඈත ප්‍රාථමික යුග පිළිබඳ ඉතිහාසය පවසනුයේද "ගුහාව" නමැති ගෘහයෙහි පාලිකාව වූයේ ස්‌ත්‍රිය බවයි. ඒ ඔවුහු අතීතයේ විසුවේ ගල්ගුහාවල වන අතර පිරිමියා විසින් එය වෙත ගෙන එන ලද මසක්‌ හෝ අල පළා ඵලයක්‌ අර පිරිමසා හදා කියා බෙදා දුන්නේ ස්‌ත්‍රියක විසින් වන බවයි. එයද ශිෂ්ටාචාර වීමේ ගමන් මගෙහි යම් දුරක්‌ පැමිණීමෙන් පසුව විය. සත්ත්වයන් අතර මානවයා හැරුණු කොට සෙසු සත්ත්වයෝ තවමත් ශිෂ්ටාචාරය ආරම්භ වූ තැනම නතරවී හිඳිමින් පෙර කරන ලද කාර්යයන්ම සිදුකරමින් සිටින බවත් පෙනේ. ඉන් පසුව සමාජ ගතවීමේදී එහි ආරම්භය "පවුල" විය. අදත් ලංකාවෙහි ගම්බදව පවුල යනු බිරිඳයි. පුරුෂයා පවුලේ ප්‍රධානියා වූ අතර සෙසු සාමාජිකයින් ආණ්‌ඩු මට්‌ටු කරගෙන පවුල පාලනය කරන ලද්දේ බිරිඳ නොහොත් මව විසිනි. මෙම "මව" නොහොත් "අම්මා" යන වචන මාත්‍රය සෑම පුද්ගලයකු තුළම නිදන්ගත දිවමතුරක්‌ හා සදිසි වූයේ ඇය නිරායාසයෙන් පවුලෙහි වැදගත්ම සාධකය වූ බැවිනි. හදිසි උපද්‍රවයකදී හෝ මරණ මොහොතේදී වුව මව යන "දිව්‍ය මාත්‍රාව" මැතිරෙනුයේ සහජ බැදීම නිසාය. පියා වැදගත් වන්නේ ජාතකය සඳහා වන බව සත්ත්ව ලෝකය දෙස බලන විට ද පෙනේ. සෙසු සියල්ල විකාශය වී ඇත්තේ ශිෂ්ටවීම යටතේ මිස ස්‌වභාව ධර්මය අනුව නොවේ. බමුණන් විසින් සිය ආධිපත්‍යය පතුරවමින් මෙම ශිෂ්ටාචාර ගමන් මඟට නව අර්ථකථන දීමේදී විවාහ වනතුරු පුරුෂයකුගේ පූර්ණත්වයක්‌ නැති බවත් ඊට භාර්යාව නමැති උතුම් භාග්‍ය එක්‌විය යුතු බවත් පවසා ඇත්තේ පුරුෂාධිපත්‍යය පැතිරවීමේ අරමුණින් බව පෙනේ. එහෙත් සැබවින්ම පැවසිය යුතු වන්නේ ස්‌ත්‍රියගේ පූර්ණත්වයට පුරුෂයා එක්‌විය යුතු බවකි.

මුල් ආර්ය යුගයන්හි සමාජය සැකසී පැවතියේ එක්‌ එක්‌ විවාහක යුවලක්‌ ගෘහයක්‌ ලෙසිනි. එබඳු ගෘහ කීපයකින් "ගමක්‌" ගොඩ නැගුණි. ගමෙහි ප්‍රධානියා "කුලපති" විය. ගම් කීපයක්‌ "විශ්" නම් විය. එහි ප්‍රධානියා "විශ්පති"ය. "විශ්" නමැති පළාත් කීපයක්‌ "ජන" නම් විය. එහි පාලකයා "රජු" ය. මෙසේ ගොඩනැඟි පාලන තන්ත්‍රයේ කුඩා ඒකකය තුළ යහ පාලනය මහා සමාජයේ අභිවෘද්ධියට ඉවහල් විය. මේ නිසා ගෘහ ඒකකය යහපත් කිරීම පිණිස පැවැති පාලන ධර්මතාවනට වැදගත් තැනක්‌ හිමි වූ බව පෙනේ. එහි උපයන්නා හා ප්‍රධානියාද තීරණ ගන්නාද නාමික වශයෙන් සැමියා (පියා) වූ අතර වැඩි වගකීම් කොටස දරන ලද්දේ බිරිඳ නොහොත් පවුලේ මව විසිනි. එහෙත් ඇය සතුව පැවැති සමාජ තත්ත්වය එවක සමාජ තීරකයන් විසින් පස්‌වැනි හයවැනි සියවස්‌ වනවිට පහළට ඇද දමා තිබිණ. කාන්තාවට සාධාරණත්වයක්‌ ලබාදෙන ලද්දේ බුදුන් වහන්සේ භාරතයෙහි පහළවීමෙන් පසුව විය.

සංහිතා හා උපනිෂද් කාලයන්හි යම් නිදහසක්‌ කාන්තාව විෂයයෙහි පැවැති බවට සාධක තිබේ. "මෛත්‍රී" "ගාර්ගීය" "කෘත්‍යායනී" "ඝෝෂා" "විශ්වචාරි" වැනි උගත් කාන්තාවන් ගැන සඳහන් වන අතර ඔවුන් සමාජයේ විශේෂ සැලකිල්ලක්‌ ලද අය බව කියෑවේ. පාණිනීගේ සමහර වාර්තාවන්හි සඳහන් වන ආකාරයට කාන්තාව සඳහා "චරණ" නමැති අධ්‍යාපන ශාලා පැවැති බවද සඳහන් වේ. ක්‍රි. පූ. 700 - 500 තරම් කාලය තුළ කාන්තාව අරභයා පැවැති "නිෂ්ඨා" දෙක වූයේ වේදාධ්‍යයනය හෝ විවාහයයි. ඝෘග් වේදයට අනුව මෙම කාලයේදී සුදුසු වයස එළැඹීමත් සමග විවාහය සිදුකරන ලදී. ඒ වන විට කාන්තාවට ප්‍රේම සම්බන්ධතා ගොඩ නඟාගැනීම, රහසිගතව පෙම්වතුන් මුණ ගැසී කතාබස්‌ කිරීම, තෑගි බෝග හුවමාරු කර ගැනීම, විවිධ මෝස්‌තර විලාසිතාවලින් සැරසීම, ආව භාව ලීලා පෑම ආදිය සඳහා නිදහස පැවති බව සඳහන් වේ. සමාජය යම් උසස්‌ තත්ත්වයක පැවැති අතර සමාජ විරෝධී ක්‍රියා බහුලව සිදු නොවීය. උසස්‌ පිළිගැනීමකින් යුතු සමාජ උපදේශකයන් විසූ අතර ඔවුන් විසින් සාධාරණ සමාජ නීති පද්ධතියක්‌ ගොඩනඟා තිබිණි. නිසි වයසට පෙර විවාහය සිදුනොවූ අතර වැන්දඹුවටද විවාහ වීමට අවස්‌ථාව ලැබිණි. මෙය දරුණු ලෙස නීතිරීතීන්ට යටත්ව පැවතියේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට නතු වීමෙන් පසුව විය. වැන්දඹුව විවාහ වන පුරුෂයා "දිධිෂු" නම් වන අතර දෙවනවරට විවාහවන වැන්දඹු පුරුෂයාගේ දෙවන බිරිය "පරපූර්වා" ලෙසින් හැඳින්වුණි. යම් කාන්තාවක්‌ දෙවන පුරුෂයා සමග විවාහවී ලබන පුතා "පෞනර්භව" ලෙසින් හැඳින්වීය. ක්‍රි. පූ. 700 ත් 200 ත් තරම් කාලය සලකනු ලබන්නේ "ධර්ම සූත්‍ර" අවධිය ලෙසිනි. මෙම ධර්ම සූත්‍ර රචිත කාලය ක්‍රි. පු. 500 න් ඈතට නොයතැයි මැක්‌ඩොනල්ඩ් පඬිතුමා පවසයි. මේ කාලය තුළද තරමක ලිහිල් පැවැත්මක්‌ කාන්තාව අරභයා වූයේ යෑයි කියෑවේ. පිරිමියාට යම් යම් වැරදි නිසා භාර්යාවන් එක්‌ අයකුට වඩා පාවා ගැණීම සඳහා පවතින ඉඩකඩද මෙකල නොවූ බව කියෑවේ. වඳ භාර්යාව වෙනුවට වෙනත් භාර්යාවක්‌ පාවාගැනීමේදී ඇගේ වඳ භාවය නිශ්චය කොට ගැන්ම සඳහා වසර පහක්‌ද, දියණියන් පමණක්‌ ලබන්නියට පුතකු ලැබීම සඳහා වසර 12 ක්‌ද, ලබන දරුවන් මැරෙන භාර්යාව අරභයා වසර 15 ක්‌ද කල් දීමේ පිළිවෙතක්‌ පැවති බව බෞද්ධායන ධර්ම සූත්‍රයේ සඳහන් වේ. එපමණක්‌ නොව කාන්තාව අරභයා වැරදි කළ අය වහා පන්නා හැරීමේ තීරණය අසාධාරණ හා අමානුෂීය දෙයක්‌ ලෙසින්ද සලකන ලදී. ආපස්‌ථම්භ ධර්ම සූත්‍රයේ දැක්‌වෙන ආකාරයට කලහකාරී, අපරාධකාරී, පාපිෂ්ඨ, හිතුවක්‌කාරී භාර්යාවන්ට සමාව දියයුතු බවත්, කාමයෙහි වරදවා හැසිරුණද දඬුවම් ලෙස "තපෝ ව්‍රතයට යටත්තොට ආපසු බාරගත යුතුයෑයිද දක්‌වා තිබේ. බුදුන් වහන්සේ පවසන ලද්දේ ද කාන්තාව බොළඳ හා ළාමක බැවින් පහසුවෙන් වැරදි මගෙහි යා හැකි බවයි. එබැවින් මුල් කාලවල කාන්තාවන් සසුනට ඇතුලත්කර ගැනීමද සිදු නොවූ බව පෙනේ. මින් පැහැදිලි වන්නේ විවිධ වකවානුවල කාන්තාව අරභයා පැවැති නීති රීතීන්හි ස්‌වභාවය වෙනස්‌වී ගිය බවකි. ස්‌මෘති යුගයත් සමග මනුස්‌මෘතිය වැනි කෘතිවලින් පෙන්වා දෙන ලද්දේ කාන්තාව දැඩිසේ නීති රීතිවලට යටත්කොට තැබිය යුතු බවයි. ඇයට වේදාධ්‍යයනය අනවශ්‍ය බවත්, ස්‌වාධීනත්වයක කාන්තාව නොතැබිය යුතු බවත්, ඇය ගෘහ සංවිධානය හා දේපළ රැකීමටත්, පමණක්‌ යොදා ගත යුතු බවත් මනු සඳහන් කරයි. ගෘහස්‌ථ ධර්ම ඊළඟ පරපුරට දායාද කරනුයේ ඇය විසිනි.

බුදුන්වහන්සේ විසින් කාන්තාව අරභයා අනුගමනය කළ මානුෂීය ක්‍රියා මාර්ගයන් තුළින් මාර්ග ඵලයනට පවා එළැඹීමට කාන්තාවනට හැකිවිය. ධම්ම පදට්‌ඨකථාව, මනෝරථ පුරණිය ආදියෙහි පැහැදිලි වන ආකාරයට පුතුන් ලැබීම වඩාත් වාසනාවන්ත දෙයක්‌ කොට සලකන ලද්දේ පරපුර ගෙනයැම අරභයාම නොව දියණියන් නිසිපරිදි හදා නොගතහොත් පරපුරේ දැලිගෑවෙන බැවිනි. කාන්තාව දුර්වලවූද, පහසුවෙන් වරදට හසුවන්නා වූද ළාමක සිතැත්තිය කැයි සම්මතයක්‌ සමාජයේ විය. ඉහළ පෙළේ රජ, සිටු, මැතිවරුන්ගේ පවුල්වල ගැහැණු දරුවන් දැසි දසුන් මධ්‍යයේ තබා හදා වඩාත් අපකීර්තියම විඳින්නට සිදුවු බව කියෑවෙන පුවත්වලින් ඒ බව පෙනේ. මේ නිසා බමුණන් ඇය පවු පිඬක්‌ සේ සලකා අවඥවෙන් බැහැර කරන ලදී. එපමණක්‌ නොව ඇය පිරිමින් උදෙසා පාරිභෝගික භාණ්‌ඩයක්‌ සේද, කෙළි බඩුවක්‌ සේද භාවිත කරන ලද්දේ විය. මෙය භාරතයේ සේම හැම රටකම ද විශේෂයෙන් ලංකාවේ මහනුවර යුගයේ ද පැහැදිලිව දක්‌නට ලැබිණි. ජාතක පොත විමසා බලන විට මේ බව වඩාත් පැහැදිලිව පෙනේ. කාන්තාව අඥාන, ළාමක, චපල, වංක, වංචනික චරිත ලක්‍ෂණවලින් පමණක්‌ ම යුතු තැනැත්තියක සේ බොහෝ ජාතක කතාවන්හි විස්‌තර කෙරේ. ඇය පිරිමියාට අභිමතයක්‌ කළ හැකි තත්ත්වයක පසු වූවාය. වෙස්‌සන්තර ජාතකයේදී මද්‍රීදේවිය සැමියා විසින් හිතුවක්‌කාර ලෙස වෘද්ධ, අජූව, අපුල, බමුණු මාල්ලෙකුට තෑගි කොට දීමෙන් එදා සමාජයේ කාන්තාව පිළිබඳ පැවැති තත්ත්වය පෙන්නුම් කෙරේ. සෑම රටකම රජු ඇතුළත්ව මැති ඇමැතිවරු සිය කාම පාශය සඳහා බහුල ලෙස කාන්තාවන් පරිහරණයට යොදා ගත්හ. ඇයට ආදරය, සෙනෙහස විඳින්නට නොලැබුණු තරම් විය. වියපත් රජුන් පවා සුරූපී ළඳුන්ගෙන් සිය අන්තඃපුර පුරවාගත් ආකාරය අපේ ඉතිහාසය පුරාවට ද දක්‌නට ලැබේ. මානවයා සතු මෙම කාම ලෝභය හුදෙක්‌ බලය මත පදනම්ව ම්ලේච්ඡ අවධියේ සිට පැවත ආ බවක්‌ සෑම සත්ත්ව සමාජයක්‌ම විමසීමෙහිදී වුව පෙනෙන සුලබ දෙයකි. සත්ත්ව කණ්‌ඩායමක පවා ක්‍රියාකාරී ලිංගික අයිතිය පවතිනුයේ බලවත් සත්ත්වයාට පමණක්‌ විය. මෙය මුල් සමාජවල බහුලව යොදාගත් අතර, ඊට යෝග්‍ය ලෙස සමාජ සම්මතයන් නිර්මාණය කර ගැනීමට ද ඔවුහුq සමත් වූහ.

ස්‌මෘති යුගය තුළ පැවැති දැඩි නීති තන්ත්‍ර යුගයන්හිදී ලිහිල් වූ අතර, බුද්ධ ශාසනයේදී ඇයට පිරිමියාට හා සමානව සම තැන ලැබිණි. එපමණක්‌ නොව පැවිදිව මාර්ගඵලයනට පත්වීමට ද හැකි විය. සමාජීය වශයෙන් පවුලෙහි බරපතල වගකීම් කොටස පැවරී ඇත්තේ කාන්තාවට බව බුදුන් වහන්සේ පහදා දුන්හ. ගෘහය තුළින් සමාජයට පිවිසෙන අනාගත පරපුර මවගෙන් ලද උරුමය රැගෙන තනනු ලබන ලෝකය වඩා යහපත් වීම සඳහා කාන්තාව නිදහස්‌ තැනැත්තියක විය යුතු බව පෙන්වා දෙන ලද්දේ බුදුන් වහන්සේ පමණි. එදා සමාජය කාන්තාව කොන්කර ගෘහයට සිරකර නොතබන ලද්දේ වී නම් අද සමාජය මීට වඩා යහපත් එකක්‌ බවට පත්වනු නොඅනුමානය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment